වසන්තයේ අග…

ඉඩෝරයට මායිම් උන ජීවිත වලට වස්සානය කියන්නෙ අරුමයක්ම නෙවෙයි, උන් හොයන්නෙ පොකුණක්, දිය කඩිත්තක්.. මහ මුහුදකට ලෝභ වෙන්න තරම් අයිතියක්, ආසාවක්, හයියක් උන්ට උරුම නැහැ..

වස්සානයෙන්ම තෙත් උන ජීවිත හරි බරයි, සරත් සමේ කොළ උනත් විසල් ගස් අත්හරින බව උන්ට අමතකයි, උන් අමතකම කරයි.. උන් හොයන්නෙ තවත් මුහුදක්,

උන්ටම ලෝභ උන මහ සාගරයක්..

ඔය කොහොම වෙතත්..

වසන්තයට හුස්ම අල්ලන ඉඩෝරයත්,

වසන්තයට පාර කියන වස්සානයත්

ඉස්පාසුවක් නැතිව ජීවිතය ගැටගහන්නෙ, ඉන්තේරුවෙන්ම වසන්තයේ පූදින නැවුම් දල්ලක් බලාපොරොත්තුවෙන්මයි..

ආඩම්බරකාර වසන්තය..

කල්පයක මග බැලීම නුඹට කැපද? ඉඩෝරයෙන් වියලුනු ජීවිත,

වස්සානයෙන් හෙම්බත් උනු ජීවිත,

වසන්තයේ ලිලී මල් වලින් නහවන්නට නුඹට හැකි

වේවිද..

ඉදින් ප්‍රේමය…කෝඩුකාර නුඹ, වස්සානයක් පතන ඉඩෝරයක්.. වසන්තයට ඉගි කරන වස්සානයක්.. ඇරඹුමකට අරුත් දෙන වසන්තයක්..

ඉඩෝරය මග බැලීමක් නම් වස්සානය හමුවීමක්.. වසන්තය, හමුවීමකට අවසානයක් දෙන ප්‍රේමයක්.. ප්‍රේමය කියන්නෙම මග බලන ඉඩෝරයක්, හමුවීම් ගලපාගත් වස්සානයක්,

ජීවිතයට බලාපොරොත්තුවක් දෙන වසන්තයක්…

–උත්පලා අබේවික්‍රම

Leave a comment