“සර් අද මාර දුක හිතෙන දවසක්..”
පාසලේ උදෑසන ප්‍රධාන රුස්වීමේදී එක් සොයුරෙක් මෙලෙස කියා සිටියේ එම රැස්වීමට දුක්මුසු බවක් එක් කරමිනි. මම ඔහු එසේ පැවසුවේ ඇයි දැයි දැන උන්නත් මගේ සිත එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවක් මට හැඟුණි.
ඒ අපේ පාසලේ මුල් ගුරුතුමා වන විදුහල්පතිතුමන් විශ්‍රාම යන දිනය අදට යෙදී තිබීමයි. මුළු පරිසරයම මලානික ස්වාභාවයක් ගෙන තිබියදී එලෙස ජාතික ගීය හා පාසල් ගීයද කියා උදෑසන රැස්වීම ආරම්භ වී තිබුනේ මා හට නොදැනීමය.
කෙමෙන් කෙමෙන් අපේ මුල් ගුරුතුමාගේ අවසන් කතාවටද කාලය එළඹ ඇත.
එතුමාගේ කතාව මාව අතීතයට ගෙන ගියේ මාගේ ඇසට කඳුලක්ද එකතු කරමිනි.
මාතලේ දිස්ත්‍රික්කයේ කූඹියන්ගොඩ ප්‍රදේශයේ ඉතා පිටිසර කුඩා ගම්මානයක් වන මා ඉපදුණු ගම්මානය මනරම් කඳු වළල්ලකින් වට වී ඇත. ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අප ගම්මානය මැදින් මනරම් දිය දහරක්ද ගලා බසී.
බැලූ බැලූ අත හරිත වර්ණයෙන් පිරුණු ගහකොළ වන අතර ඵල වැලින් බරව ඒවායේ සුවඳ මුලු ගම්මානය පුරාම හමා යයි.
මා පාසල් යන මුල්ම දිනයේ දී ද අප ගම්මානයේ පාසලේ විදුහල්පතිතුමා එතුමාම විය.
අම්මා සමඟ ප්‍රථම වතාවට ගොස් බුලත් දී ඔහුට වැන්ද විට මාගේ කුඩා හිස අත ගා “හොඳට ඉගෙන ගන්න ” කියා කියූ සැටි මා හට තාමත් මතකය.
ලොකු සර් ගේ මහ ගෙදරද පිහිටා තිබුනේ අපේ ගම්මානයේ වම් පසය වීමටය.
මුල්ම ගුරු පත්වීමට මොණරාගල ප්‍රදේශයට ගොස් තිබෙන එතුමා පසුව කොළඹ ප්‍රධාන පාසලකටද ගොස් ඉන් පසුව නැවත ගමට පැමිණ ඇත්තේ මුල අමතක කල නොහැකි නිසාමය. එම වර්ෂයේම මා හට පාසලට ඇතුලත් වීමට ලැබීමද මා ලද භාග්‍යකි.
නාගරික ප්‍රදේශයක සිට පැමිණ තිබුණද ඔහුගේ ගතිගුණ අඳින පළඳින විලාසය නම් අපේ ගමේ අනිත් මිනිසුන්ට සමානය.
එතුමාගේ එකම අධිෂ්ඨානය වී තිබුනේ අපේ කුඩා පාසලේ නාමය ලෝකයට ගෙන යාමය. ඒ වෙනුවෙන් එතුමා දිවා රෑ නොබලා කැප විය.
උදෑසන පාසල පටන් ගැනීමටත් පෙර සුදු කමිසයෙන් හා සරමකින් සැරසීගෙන කුඹුරේ නියර මැදින් කලු පැහැති බෑගයක්ද අතේ ගෙන පාසලට පියමන් කරන එතුමා මුළු පාසල පුරාම ඇවිදා පාසලේ ඇති අඩුපාඩු සොයා බලයි.
එම ගමනේ අතරමඟ මුණගැසෙන සිසුන් හට ඉතා සිනාමුසු මුහුණකින් කතා කරන ඔහු ළමුන්ට මිතුරෙකු වැනිය.
නමුත් පාසලට පැමිණීමට පෙර කැලේ පැන දං , එරමිණියා , වෙරළු ,සියඹලා වැනි දෑ ගෙන පාසලට ප්‍රමාදවන සිසුන්ට නම් සර් ගෙ වේවැල් කසාය වරදින්නේම නැත.
වැහි කාලෙට අපේ ගමේ ඇත්තේ අමුතුම සුන්දරත්වයකි. මුලු පරිසරයටම අළුත් පණක් ලැබී ඇත. නුමුත් මේ කාලයේ උදෑසනම පාසල වෙත පැමිණෙන සිසුන්ගේ අඩුවක් තිබුනද අපේ මුල් ගුරුතුමාට නම් එ් ගැන වගේ වගක් නැත. වැහි කාලෙට ගඟෙන් ගොඩ වීමද තරමක් අපහසු වන්නේ පාලමේ මට්ටමටම වතුර වැඩිවන හෙයිනි. ඒ කුමක් වී තිබුනත් අපේ විදුහල්පතිතුමානම් උදෑසනම පාසලේය.
වාර විභාග අවසානයේ සෑම දෙමාපියෙකුටම වෙන වෙනම කතා කිරීමටද ඔහු අමතක නොකරයි. එයට නම් බොහෝමයක් ළමුන්ගේ කැමැත්තක් තිබුණේ නැත. පාසලෙන් ඉවත් වී ගිය සමහර ළමුන් පාසලට තමන්ට හැකි අයුරින් උදව් උපකාර කිරීමට ද අමතක නොකරති. ඒ මන්ද අපේ පාසල ඉතා දුෂ්කර පාසලක් බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. නමුත් සමහර ළමයි නම් පාසල දෙස හැරීවත් නොබලති.
සමහර සිසුන් පාරේ යන විට ගුරුවරුන් මුණ ගැසුනු විට නොදැක්කා සේ යති.
ලොකු සර් නම් ඔවුන්ගෙන් හිනාවක් වත් නැවත බලාපොරොත්තු නොවී ඔවුන්ට ඉගැන්වූ බව මා දනී ,නමුත් කළගුණ සැලකීමේ ගුණය ,මනුස්සකම ඔවුන්ට මග හැරී ඇති බව ඔවුන් ඔවුන් විසින්ම ප්‍රදර්ශනය කර පෙන්වයි.
මේ සිද්ධීන් අතරේ අපේ ලොකු ඉස්කෝල මහත්තයගේ හාමිනේ ගේ අභාවය මීට වසරකට පමණ පෙර සිදුවිය. අප පාසලේ බොහෝමයක් සිසුන් එම සතියම ගත කලේ ඔහුගේ නිවසේය. සෑම වැඩකටයුත්තකටම ලොකු සර්ට අප පාසලේ සිසුන් වාගේම අපේ දෙමව්පියන්ද උපකාර කරන ලදී. ඔහු එම කාල සීමාව තුලත් තම දුක හිතේ හිර කරන් සිනා සී සිටීමට උත්සහා කලත් ඔහුට එය නම් කර ගැනීමට නොහැකි විය.
මාගේ සිත දිව ගොස් ඇති දුර,
උදෑසන ප්‍රධාන රැස්වීමේ අවසාන සනිටුහන් කිරීමටත් සූදානම්ය.
අතරින් පතර සිසුන්ගේ ඇස් වල කඳුළු මා හට දිස්වේ. ඒ සියළුම කඳුළු අඹිබවා මුල් ගුරුතුමන්ගේ දුක් මුසු මුහුණ මා හට විශාල වේදනාවක් ගෙන දෙයි.
කෙමෙන් කෙමෙන් දින ගත වී යයි,
දැන් මා හට පාසල දිස්වන්නේද ඉතාමත් අප්‍රාණික පෙනුමිණි.
සති දෙකක් ගිය තැන අපගේ පාසලට නව විදුහල්පති කෙනෙකුන් පැමිණියද තාමත් ඔහුට අප පාසල හුරුපුරුදු නැත.
මසක් පමණ ගත වූ පසු මා හට ඇස් අදහා ගත නොහැකි වූයේ අපේ හිටපු විදුහල්පතිතුමා සුපුරුදු ඇඳුමින්ම සැරසී නැවත පාසලට පැමිණ සිටීම නිසාය.
ඔහු ළමුන් සමඟ පවසා තිබුනේ ” මා නිවසට වී සිට කුමක් කරන්නද යන්නයි ? ”
ඔහු නැවත සුපුරුදු පරිදි වේතනයක්වත් නොගෙනම පාසල් ළමුන්ට ඉගැන්වීම ආරම්භ කර තිබෙන්නේ ඔහුගේ සැඳෑ සමය විවේකයෙන් ගත කිරීමට ඉඩ හසර පෑදී තිබියදීමය.
දැන් නැවත මා හට ද පාසල ප්‍රිය ය.
මා පාසල් ගොස් උසස් පෙළ හොඳින් සමත් වී විශ්ව විද්‍යාලයට වරම් හිමිකර ගත්තේය.
එහෙත් තවමත් ඔහු නම් පරණ සුපුරුදු කමිසය හා සරමද හැඳ බෑගයද අතින් එල්ලාගෙන පාසල වෙත පිය නඟන්නේ මා වැනි තවත් දස දහසක් ළමුන්ගේ දෑස් පෑදීමටය.
“පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ…”
සටහන – රොටරැක්ට් සාමාජික චරිත් දාබරේ