පැලුනු තැන් ඇළ කණ්ඩියේ මට ඇහෙනවා ඉකි ගහන සද්දේ
කැරකිච්ච යටි හුලං ඕසෙට ඇවිත්
දූවිලි එක්ක පැද්දේ
ඉපල් වෙන ගදපාන අකුලක
පැටලිලා හිත එහා ලන්දේ
නුබව තාමත් හොයනවා ඇති!
හිත පතුල මේ තරම් යුද්දේ
පිරුණ රතඹර – සියුම් සියොලග
පිපුන සපුමල – වගේ දෑලේ
පිරිමි හිත් කොච්චරක් රිදුනද
නුබම මට පැවරුවම ආලේ
රුචි අරුචි නොදැනිච්ච තාලෙට
මාත් රැක්කට නිහඩ සීලේ
පෙත්තරේ තවමත් ඇසෙයි ඔය
උඩගු පපු කද ගැහුණ තාලේ
වැක්කෙරෙන අක්බඹරු කෙහෙරැලි
නුබට විතරයි උරුම ලෙසිනා
පුන්කළස් පුරවනා පොල්මල්
කිතුල් මල් පරදවනු දැනුනා
තියා මෝවිටි රටා මාගල් – පැදුරු
එක සීරුවට වියනා
නුබේ දිවි සංසාර වියමන ලියා
ගත්තද කොහොම “පොඩිනා”?
මෙතුන් සක්වළ එවුන් කිළි කුණු
අත්ල උඩ ඉද පුපුරු ගැහුනා
එහෙව් කිළි කුණු මකා ලන්නට
ගෑනු හිත චංචලව සැලුනා
සෙංකොට්ට ගෙඩි තලා – සළකුණු
කවා සුදු පිරුවටේ මැදුනා
හැංගිච්ච හොරු ඇවිත් හීනෙන්
නුබ අරන් ඈතකට ඇදුනා
හූර හූරා පස් පහුරු ලන මුරුගයන්
කා උරා හප කළ
හිතේ දුක් ගිනි නිවාලා ගෙන
සපිරුනා නම් නුබේ මන දොළ
පරිස්සම් කර තියා හද ගැබ ! ඉදින්
ඉන්නා තැනක බල බල
ආයෙ හිත් ලන දිනක් ඒවා ලබන
බවයක නුබම පෙම් කළ
පෙත්තරේ රෙදි කදු පිටින් පැල්ලම්
මකන්නට පෙගෙන්නේ
වෙල්ලාව යට ගිනි පුපුරු ඇත
අගුරු යට කිළිපොලන්නේ
හැංගිලා මගෙ කදුල කොහොමත්
රිදි රිදී හිත දවන්නේ
මළ දොළේ තෙත ඉවුරු අස්සේ
කොහොම රන්කද නිදන්නේ
වරු ගණන් නුබෙ දාහෙ අවුලපු
උයන ගෙයි දුම් පිරුන බිස්සේ
නියඹලා රස ඉතිරිලා ඇත- බෙදා දුන්
බත් පතක් අස්සේ
පපු කැනිත්තේ හොවා මහ දුක්
බරක් උහුලපු දවස් තිස්සේ
දැනුත් දියකර හරිනවා ඇති නේද ?
දුක – මුරුගසන් වැස්සේ
පාළු තනිකම එක්ක ගොම්මන
පල්ලෙකුඹුරේ පැලට එබෙනා
රෑට ඉන්නට බැරුව තනියෙන්
කදුළු නැති හිත හැගුම් හඩනා
ලමැද උණුහුම නැති කමට
පොඩි එකා හීනෙන් තවම කියනා
ඉකිබිදුම ඇහෙනවද ? ආයෙත්
ඇවිත් යන්නට එන්න “පොඩිනා”
(“සෙංකොට්ටං” – මහින්ද ප්රසාද් මසිඹුලගේ කෘතිය ඇසුරින්)
පබැඳුම – Rtr. පුමුදු උදාරා ජයසේකර
රොටරැක්ට් සාමාජික 2019/20