සෑම වසරකම අප්‍රේල් 15 දිනට යෙදී ඇති ලෝක කලා දිනය නිමිති කරගනිමිනි~
අනේකවිධ නිර්ණායකයන් මත පිහිටුවා කලාව අර්ථ කතනය කල හැකි ද? නැත
කලාව නිශ්චිත ලෙස මේ යැයි අර්ථ දැක්වීමට නොහැකිය, මන්ද කලාව රසවත් වන්නේ රසය තුලය, කලාකරුවා ද, එයින් මුසපත් වන රසිකයා තුලද තිබෙන රස සුසංයෝගයෙන් එම කලාව සැනසීමක් වේ. ශබ්දයේ කොටස් දෙක වන ඝෝෂාව ද නාදය වෙනස් වන්නේ රසය තුලය, සුදු තිරයක වෛවර්ණ ලෙස නිර්මාණය වන්නේ හුදෙක් නිර්මාණයක් නොව කලාකරුවාගේ මානසික රසයයී. කලාව යනු ජාති භේද, ආගම් භේද, වර්ණ භේද,හෝ වයස් භේද නොමැති පොදු පරිසරයකි. සමාජයේ උසස් මට්ටමේ මිනිසුන්ගේ කලාවත් පහල මට්ටමේ මිනිසුන්ගේ කලාවත් පරස්පර වූවත් රසය එකමය, එය පාට තලා අත් සලකුණු තබා සතුටුවෙන කිරිකැටියාගේ සිට බදාම අතුරා මෝල්ඩින් කරන බාසුන්නැහේ තෙක්ම ගලා යයි.
සංගීතයට ඉතාම ඇල්මක් දක්වන මා, කලාව සංගීතයෙන්ම පැහැදිලි කිරීමට කැමැත්තෙමි. සංගීතය යනු විශ්වීය කලාවක් යන නිර්වචනය මම පිළිගනිමි. එය ජීවී හෝ අජීවී ආකාරයෙන් හටගෙන එම ආකාරයෙන්ම හැම පරිසරයක්ම සනසනු ලබයි, එය නිහඬ වනාන්තරයක කුරුලු නාදය වැනිය, එසේ වුවද සෑම සංගීතයම සෑම කෙනෙකුටම සෑම විටම රසවත් වන්නේ නැත. එය රසවිදින්නාගේ මානසිකත්වය මත වෙනස් වේ. විටෙක නාද රසය විඳින අප විටක අරුත් රසය විඳින්නේ මා කියූ ඒ වෙනස නිසයි.
මිනිසා සත්වයන්ගෙන් වෙනස් වන්නේ මිනිසා තුල රසයට ඇති ඇබ්බැහි වීම නිසාය, සුරතල් සුනඛයාට අධික ඝෝෂාව පිළිකුල් වුවද අති ඝෝෂාකාරී සංගීතය මිනිස් කොට්ඨාශ සමහරකට අති පියකරු වේ, එක් අයකුට භීතියක් දනවන නිශ්ශබ්දතාව තවකෙකුට සැනසීමක් විය හැකිය, එමෙන්ම දුප්පත් පැලේ ටින් ඩ්‍රම් සෙට් එකෙන් එන ශබ්දයත් ස්ටුඩියෝව තුල හඬ නැගෙන යමාහා ඩ්‍රම් සෙට් එකේ ශබ්දය ත් දෙකක් වුවත් සංගීතය එකය.
ඉතින් අපේ මේ ජීවිතයද අති විශාල සුන්දර මෙන්ම අසුන්දර කලාවකි, මන්දයත් සතුටක් නැති දුකෙහිත් , දුකක් නැති සතුටෙහිත් රසයක් නැති හෙයිනි. අප ජීවිතය කලාවක් නම් අප ජීවිතයේ හමුවන අත්දැකීම් කලාකරුවන් වේ, එය මත අප ගොඩනැගේ. අවසානයක් නොමැති කලාවට අවසානයක් තැබීමට මට නොහැකිය එහෙත් මම මෙසේ මාගේ ප්‍රියතම කලාකරුවාගේ වදනක් උපුටා ගනිමි.
“ඔබ ජීවත් වන ආකාරයට ආදරය කරන්න, ඔබ ආදරය කරන ජීවිතයක ජීවත් වන්න”
(ප.ලි. සියලු සේයාරූ වල ගෞරවය මුල් හිමිකරුවන් ට පුදමි)
රචනය –
Rtr. මිශේන් විල්වල ආරච්චි
සාමාජික 2019/20